සමාජ මාධ්‍ය පාලනය කරන්න ආණ්ඩුවට පුළුවන්ද?


Posted on August 28, 2024  /  0 Comments

In an interview with Mawbima newspaper, LIRNEasia CEO Helani Galpaya highlighted the importance of accurate data in holding governments accountable between elections, emphasising its critical role in ensuring a functioning democracy. She also discussed the impact of misinformation and disinformation on public opinion, the role of fact-checking, and the importance of media independence.

Below is the full Sinhala interview which was originally published in Mawbima newspaper on August 26, 2024.

ඔබගේ කෑම බීමවල සිට රුචි අරුචිකම් සියල්ල නොදැනුවත්වම ජංගම දුරකථනය විසින් ඩැහැගනු ලබමින් සිටී. මෙකී සයිබර් දේශපාලනය අද වන විට ලෝක ප්‍රජාතන්ත‍්‍රවාදයටද අභියෝග කරමින් සිටී. ඒ, එසේ ලබාගත් තොරතුරු විකෘති කරමින් මහජන මතයද ඩැහැගැනීමට කෙරෙන තාක්ෂණික උත්සාහයන් සමඟිනි. ලංකාවේ ඩිජිටල් අවකාශයෙහි ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන ලර්න්ඒෂියාහි ප්‍රධාන විධායක නිලධාරිනි හෙලානි ගල්පාය අප හමුවූයේ ජනාධිපතිවරණය අබියස සයිබර් දේශපාලනයේ බලපෑම ගැන සල්ලාපයකටය.

ප්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ කිව්වාම මිනිස්සුන්ට එක්වරම මතක් වෙන්නේ ඡන්ද අයිතිය. ඒත් ඒ ඡන්ද අයිතිය හා තොරතුරු එකිනෙකට සම්බන්ධයි. එතැනින් කතාව පටන්ගත්තොත්?

“ප්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ඡන්ද කියල අපි හිතනවා. ඒක හරි. හැබැයි මැතිවරණ අතර ආණ්ඩුවට තියෙන වගකීම් හා ජනතාවට තිබෙන අයිතිවාසිකම් මොනවද කියලා අපි බලන්න ඕනෑ. ආණ්ඩුව බලයට එන්නේ විවිධ පොරොන්දු දීලා. ඒ අය ඒවා ඒ විදිහටම කළාද කියල අපි දැනගන්නේ කොහොමද? එක පක්ෂයක් කියනවා අපි සම්පූර්ණයෙන් දූෂණය නතර කරනවා කියලා. සමෘද්ධි ලැයිස්තුවේ ඉන්නේ කලින් මන්ත්‍රි දාපු ලිස්ට් එක කියනවා. මෙතැනදි කොහොමද ඒක තේරුවේ කියල අපි හොයන්න ඕනෑ. ඇත්තටම සමෘද්ධිය ලැබුණේ ලොකු ට්‍රැක්ටර් තියෙන අයටද, දුප්පත් මිනිස්සුන්ටද කියල බලන්න වෙන්නේ ලිස්ට් එකෙන්. අපි ඒ ලිස්ට් එකේ තොරතුරු ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මොකද්ද කළේ කියල හොයන්න ඕනෑ. ඒ සඳහා වෙන්කළ මුදල කොච්චරක්ද? මේ සොයා බැලීමම ප්‍රජාතන්ත‍්‍රවාදයේ කොටසක්. බලය තිබෙන අය ඒ බලය අනිසි විදිහට ප්‍රයෝජනයට නොගන්නේ කෙසේද කියලා බලන්න දත්ත අවශ්‍යයි. තොරතුරු හා ප්‍රජාතන්ත‍්‍රවාදය අතර සම්බන්ධය හැදෙන්නේ එහෙම.”

විවිධ රාජ්‍ය ආයතන හරහා දත්ත වාර්තා මඟින් ප්‍රවෘත්ති පළවෙනවා. විශේෂයෙන්ම රජය විශ්වාසවන්ත මූලාශ්‍රයක් විදිහට ජනමාධ්‍ය මඟින්ම උපුටා දක්වනවා නම් එතැනින් එහා ප්‍රශ්නයක් තියෙනවාද?

“උදාහරණයක් ගමු. පාරිභෝගික මිල දර්ශක ගැන අපි කතා කරනවනෙ. කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා අපි බලනවනෙ බාස්කට් එකක්. සාමාන්‍ය ගෙදරකට මාසෙකට කෑමට අවශ්‍ය වන දේවල්. ඒ ටික එකතු කරලා ගිය මාසෙ හා මේ මාසේ කොච්චරද කියල බලලා ඒ දෙකේ වෙනස බලනවා. මිල ඉහළ යෑම බලන්නේ එහෙම. හැබැයි ඒ බාස්කට් එකේ තියෙන්නේ මොනවද කියල මිනිස්සු දන්නේ නෑ. එතකොට එතැනත් දත්ත ප්‍රශ්නයක්. එතකොට දත්ත තිබුණට මදි. දත්ත බලන්න පුළුවන් විය යුතුයි. රජයේ බොහෝ දත්තවලට ප්‍රවේශවෙන්න මහජනතාවට බෑ. ඒක ප්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාවක් නෙවෙයි. ඡන්දයකදී මේ දත්ත අත්‍යවශ්‍යයි. මම ඡන්දය දෙන්න ඉන්න කෙනාගේ දේපළ මොනවාද? එයා වත්කම් බැරකම් දීලාද? පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරද්දී මොන පැත්තටද එයා ඡන්දය දීලා තියෙන්නේ? එයා කිව්වෙ මොනවද? ගමේ අයට කිව්වේ මොනවද? මේවා තමයි දත්ත සමඟ ගැටගැසුණු ප්‍රශ්න.”

මැතිවරණ කාලයකදී මෙච්චර වැදගත් දත්තවලින් මොනවද කරන්න පුළුවන්?

“ප්‍රජාතන්ත‍්‍රවාදය නංවන්නත් පුළුවන් කඩාකප්පල් කරන්නත් පුළුවන්. එකම දත්ත වෙනස් කරලා ලියන්න පුළුවන්. කියවන කෙනාගෙ පැත්තෙනුත් පොඩ්ඩක් මොළය තියෙන්න ඕනෑ. ඕනෑ බොරුවක් පිළිගන්න අයත් ඉන්නවා. දුස්තොරතුරු, වෛරීප්‍රකාශන ආදී වශයෙන් මේ අගතීන් තාක්ෂණිකව වර්ග කරලා තිබෙනවා.”

මැතිවරණ කාලයේදී මේ තොරතුරුම විකෘති කිරීම තදින් සිදුවෙනවා. මේක ප්‍රජාතන්ත‍්‍රවාදයට බලපාන්නේ කොහොමද?

“තොරතුරු සන්නිවේදනයේදී ඇත්තටම වැරැදීම් වෙන්න පුළුවන්. මේවාට අපි කියනවා වැරැදි තොරතුරු කියල. මිස්ඉන්ෆොමේෂන්ස්. අසත්‍යයි. එහෙත්, ඒවා හානියක් කිරීමේ අදහසින් නිර්මාණය කරන ලද තොරතුරු නෙවෙයි. දුස්තොරතුරු හා දුෂ්ටතොරතුරු කියන දේ තමයි භයානක. ඩිස්ඉන්ෆොමේෂන් හා මැල්ඉන්ෆොමේෂන්ස් කියල අපි ඒවා වර්ග කරනවා. යම් පාර්ශ්වයකට අගතියක් වෙන්න කියල හිතාමතාම විකෘති කළ තොරතුරු ඩිස්ඉන්ෆොමේෂන්වලට වැටෙනවා. මැල්ඉන්ෆොමේෂන්ස් කියන්නේ ඇත්ත වගේ පෙනෙන නමුත් වෙනත් පාර්ශ්වයකට හානිකර ප්‍රතිඵලයක් ඇතිකරන්න භාවිත කරන තොරතුරු. මැතිවරණ කාලයකදී මේක ඉතාම තදින් මහජන මතයට බලපානවා. දෙයක් හරි වැරැද්ද ගැන විනිශ්චයකට එන්න නුවණින් විමසන්න කියල බුදුරජාණන් වහන්සේ පවා කියල තියෙනවා. ඩිජිටල් අවකාශයේ තොරතුරු විමසද්දිත් ඒ උපදේශය ඉතා වැදගත්.”

ඇමරිකානු හිටපු ජනපති ට්‍රම්ප්ගේ පළමු ජයග්‍රහණයේ සිටම මේ මනස සමඟ තොරතුරු මඟින් කරන ක්‍රීඩාව ගැන කතා වුණා. මෑත කාලයේ අපි දකින ලෝක උදාහරණ මොන වගේද?

“ඉන්දුනීසියාවේ නිමා වූ ජනාධිපතිවරණය ඊට හොඳම නිදසුනක්. ඒ රටේ හිටපු ජනාධිපතිවරයකු වූ අභාවප‍්ප්‍රාප්ත ජෙනරාල් සුහර්තෝගේ ත‍්‍රිමාන වීඩියෝවක් කෘත‍්‍රිම බුද්ධියෙන් නිර්මාණය කර අවසන් මොහොතේ ජනගත කළා. ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වූ ඔහුගේ බෑනා වන ප්‍රාබෝවෝ සුබියැන්තෝගේ ජයග්‍රහණය වෙනුවෙන් එය ජනමනසට කළ බාහිර බලපෑම අතිවිශාලයි. පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිටිද්දී කෘතිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතීම තවත් උදාහරණයක්. ඉම්රාන් ජන රැලිය ඇමැතුවේ මිනිත්තු 4ක වීඩියෝවක් හරහා. එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ බන්ධනාගාරයේදී පටිගත කළ එකක් බව කියැවුණා.”

මෙවැනි කාරණා සම්බන්ධයෙන් ලංකාවේ ලොකු සාකච්ඡාවක් තවම නෑ. ඒත් ජාත්‍යන්තරයේ මේ ගැන රාජ්‍ය මට්ටමින් අවධානය යොමුවෙලා තියෙනවා නේද?

“රොබෝකෝල්ස් එහෙම නැත්තන් කල්තියා පටිගත කර යොමුකරන ස්වයංක්‍රීය ඇමැතුම් කියන්නෙ පාරිභෝගිකයන්ට කරදරයක්. ඇමරිකාවේ නීතියක් ගෙනාවා රොබෝකෝලින් සම්බන්ධයෙන්. උදාහරණයකට ඡන්ද කාලෙදී ‘‘දිස් ඉස් ජෝ බයිඩන් යෝ කැන්ඩිඩේට් ප්ලීස් වොට්’’ කියල කෝල් එකේ හඬපටය වාදනය වෙනවා. බයිඩන් නෙවෙයි කතා කරන්නේ. එයාගෙ කඩහඬ පාවිච්චි කරලා රෙකෝඩින් හදනවා. උදාහරණයකට අපට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කටහඬ දාලා කෝල් එකක් ආවොත්. තාක්ෂණය ගැන දන්න කෙනෙක් හිතාවි දෙපාරක්. හැබැයි වයෝවෘද්ධ කෙනෙක් හිතන්නේ මහින්ද මහත්තය මට කෝල් කළා කියලා. ඇමරිකාව දැන් ඒවා නවත්තන්න හදනවා. හැබැයි ඒකට අදාළවත් රටින් රටට තත්ත්වය වෙනස්.”

තාක්ෂණය මඟින් කෙරෙන මේ ක්‍රීඩාවට තාක්ෂණයෙන්ම පිළිතුරක් හොයාගන්න බැරිද?

“මේක ටිකක් කිකිළිද බිත්තරයද වගේ ප්‍රශ්නයක්. මේවා හදන මිනිස්සු හැමතිස්සෙම ඉහළ තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට ඒ අයථා ක්‍රියා අල්ලගන්න තාක්ෂණිකව උපක්‍රම හදන කණ්ඩායම් ඉන්නවා. ඒ අයත් පුළුවන් තරම් තාක්ෂණිකව විමර්ශන මාර්ග හදනවා. කට බලලා ඉස්සර වීඩියෝස් හදනවනේ. දැන් බැක්ග්‍රවුන් වෙනස් කරනවා. ඕක කවුරු දිනනවද කියන්න බෑ. ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ වළක්වන්න විවිධ තාක්ෂණික උපක්‍රම පහුගිය කාලේ හැදුවා. ඒත් තාමත් එවැනි අයථා ක්‍රියා සිදුවෙනවානෙ. මෙවැනි දේ වළක්වන්න සදාකාලයටම සකස් කළ විසඳුම් නෑ. යුද්ධයක් වගේ වැඩක්. ඔය වගේ ප්‍රශ්නෙකදි අපි හිතන්න ඕනෑ අපිට කරන්න පුළුවන් මොනවද කියලා.

ජනමාධ්‍යයෙන් හෝ ආයතනවලින් සිදුවන වැරැදි තොරතුරු සන්නිවේදනයන් පරීක්ෂාවට වෙනම සංවිධාන රැසක් (Fact Checking) පහුගිය කාලේ බිහිවුණා. විශාල උද්යෝගයක් ඇතිවුණා. එයින් සමාජයට වුණේ මොන වගේ බලපෑමක්ද?

“ෆැක්ට්ක්‍රසන්ඩෝ, වෙරිටේ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ජනාධිපති මාධ්‍ය ඒකකය ආදී වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් තොරතුරු පරීක්ෂා කරන්න විවිධ සංවිධාන බිහිවුණා. වෙන රටවලත් එහෙම තමයි. ෆේස්බුක් හෝ ට්විටර්වල එන ඒවා ඇත්තද බොරුද කියල බලලා ඒක මිනිසුන්ට ලබාදෙනවා ඇත්තද කියලා. ජර්නලිස්ට්ස්ලත් ඒක කරනවා. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මුලින් පළ වූ වැරැදි පුවත ගැන සොයා දෙවැනුව පළ කරන තොරතුරු පරීක්ෂාව කී දෙනෙක් දැක්කද? ඔරිජිනල් කතාව කියවපු අයගෙන් කී දෙනෙක්ගෙ ඔළුව වෙනස් වුණාද කියල කවුරුවත් දන්නේ නෑ. මෙවැනි අවස්ථා ගැන ලර්න්ඒෂියා ආයතනය තොරතුරු පරීක්ෂකයන් 89 දෙනකුගෙන් පසුවිපරමක් කළා. හැබැයි තොරතුරු පරීක්ෂාවේ බලපෑමේ තරම ගැන ඔවුන්ට අදහසක් නෑ. මිනිසුන්ගේ අදහස් වෙනස් වුණාද කියල දැනගන්න දැනට අපට ක්‍රමයක් නෑ.

ඒ වගේම තොරතුරු පරීක්ෂකයන්ගේ දැනුම්දීම් මත එවැනි වැරැදි තොරතුරු සහිත අන්තර්ගතයන් පද්ධතියෙන් අවහිර කිරීමට හෝ ඉවත් කිරීමට ෆේස්බුක් වැනි සමාගම් කටයුතු කරනවා. හැබැයි ඒ සිදුවන ක්‍රියාවලිය ගැනත් බොහෝ තොරතුරු පරීක්ෂකයන් දැනුවත් නෑ. අනෙක් අතට තොරතුරු පරීක්ෂක සංවිධාන කටයුතු කරන්නේ තම තමන්ගේ විෂය පරාස ඇතුළේ විතරයි. සමහරු විනිවිදභාවය, තව අය ජනවාර්ගික ප්‍රශ්නය.,තවත් කෙනෙක් ආණ්ඩුවට ඇති බලපෑම. මේ නිසා තොරතුරු පරීක්ෂාවන් කියන්නෙම මේ වෙලාවෙ ඉතාම සීමාසහිත වපසරියක වෙන වැඩක්. හැබැයි මේ අතරේ අන්තර්ජාල යහපුරුදු වැනි සරල විසඳුම් නැතිවම නෙවෙයි. සර්වෝදයෙන් කෙරෙන ‘අයිටී යහමඟ’ ව්‍යාපෘතිය එවැන්නක්. පාස්වර්ඩ් හදාගන්නේ කොහොමද කරදරයක් නැතිව ඔන්ලයින් ජීවිතය භාවිත කරන්නේ කොහොමද කියල එයින් කියල දෙනවා. ලෝකයේ ගොඩක් ආයතන දැන් ඒක කරනවා.”

මේ අභියෝග ජයගන්න මාධ්‍යවේදයට අදාළව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

“ජනමාධ්‍යයේ විශාල පිරිහීමක් තියෙනවා. බලයේ සිටින ආණ්ඩුව කියන සාධකයත් මේකෙදී බලපානවා. මුදල් දීලා මාධ්‍යවේදීන් මිලට ගන්නවා නම් සත්‍ය වාර්තා වෙන්නේ කොහොමද? ඒකට විරුද්ධ විය හැකි ස්වාධීන මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදය අත්‍යවශ්‍යයි. එංගලන්තයේ බී.බී.සී.යට ආණ්ඩුව සල්ලි දානවා. බී.බී.සී. ඇඩ්වටීස්මන්ට් නෑ. ගුණාත්මක වෙනසක් තියෙනවා. ලංකාවෙදිත් හරි නම් රූපවාහිනිය ස්වාධීන වෙන්න ඕනෑ. මොකද එතැන තිබෙන්නෙ මහජන බදු මුදල්. ලංකාවෙදී කරන්න වෙන්නේ ආණ්ඩුවට පිටින් අරමුදලක් හැදිලා මාධ්‍යවේදීන්ට පුහුණුව ආරක්ෂාව දෙන ක්‍රමයක් ඕනෑ. නයිට් (Knight Foundation) වැනි ජගත් සංවිධාන එවැනි ක්‍රමවේද සඳහා දැන් ආධාර කරනවා. ලංකාවේ මාධ්‍යටත් පරිවර්තනයක් උදෙසා එවැනි ජගත් මට්ටමේ අත්වැල් සහායක් අවශ්‍ය කරනවා. “

දුෂ්ට – තොරතුරු පාවිච්චි කරලා සමාජයකට විශාල හානියක් පවා කරන්න පුළුවන්. ලෝකයේ මෙවැනි අවස්ථාවලට නීතියේ කාර්යක්ෂමතාව මොන වගේද?

නීතිමය දඬුවමක් දීම එක් එක ක්‍රමයක්. ලංකාවේ ඔන්ලයින් සේෆ්ටි පනත ගෙනාවෙත් ඒ විදිහට. ඇත්තටම ඒකෙන් වෙන්නේ ෆේස්බුක් එක කරන ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම නෙවෙයි. අපි පෝස්ට් කරන විධිය වෙනස් කිරීම. කෙනෙක් තව කෙනකු ගැන වැරැදි දෙයක් දැම්මොත් පෝස්ට් එක ඉවත් කරන්න කියල මහෙස්ත‍්‍රාත් නියෝගයක් ගන්න පුළුවන්. ජර්මනියේ ඊට වෙනස්. ආණ්ඩුවෙන් කිව්වොත් මේ තොරතුරු ඉවත් කරන්න කියලා ෆේස්බුක් සමාගම විසින්ම පැය 24ක් ඇතුළත ප්ලැට්ෆෝම් එකෙන්ම එය ඉවත් කළ යුතුයි. නිතර එහෙම නොකර ඉන්නවා නම් බිලියන ගණන් දඩ ගහන්නේ. ඊට වඩා සියුම් නීතියක් සිංගප්පූරුවේ තියෙනවා. ඇමැති කෙනකුට පුළුවන් ෆේස්බුක් හෝ ට්විටර් එකට අණ කරන්න. ඒ වගේම මුල් පෝස්ට් එක දාපු කෙනාට අණක් දෙන්න පුළුවන් ඒ පෝස්ට් එක ළඟම ලේබල් එකක් දාන්න මම මේක දැම්මා නමුත් මේක වැරැදි බව මම කියනවා කියල.

දිගන වැනි වාර්ගික කලබල අවස්ථාවල ආණ්ඩුව ෆේස්බුක් පාලනයට උත්සාහ කළා. හැබැයි සමාගම් ආණ්ඩුව ගණන් ගන්නේ නෑ. ලංකාව නමැති රාජ්‍ය සමාගමට වඩා කුඩා වීම නේද හේතුව?

“සම්පූර්ණයෙන් ඇත්ත. අපි ලංකාවෙ සමාජ මාධ්‍ය පාලනය කළ අවස්ථා 3ක් බැලුවා. එකක් අරගලය කාලේ. එකක් දිගන. අනෙක පාස්කු ප්‍රහාරය අවස්ථාවේ. ඒ තුනේම හොඳට පේනවා සෝෂල් මීඩියා නවත්තන්න ආණ්ඩුව උත්සාහ කළත් පරිශීලකයන්ගෙන් 40%ක් විතර රහස් මාර්ගවලින් (වීපීඑන්) අන්තර්ජාලයේ ඉන්නවා. ඒක කරන ඇමැතිතුමාත් ඉන්නවා. මේක ගොන් වැඩක්. ඇත්ත. අපි සම්පූර්ණයෙන් පොඩි මාකට් එකක්. අපට චීනය, රුසියාව හෝ ඉන්දියාව සමාගම් එක්ක හැප්පෙනවා වගේ හැප්පෙන්න බෑ. අපට ධනයත් නෑ. ලොකු මාකට් එකකුත් නෑ.”

ඒ කියන්නෙ අපට විකල්පයකුත් නෑ?

“නෑ. එහෙම නෙවෙයි. ඉන්දියාවට සල්ලි නැතත් බිලියන 1.2ක ජනතාවක් ඉන්නවනෙ. අපේ විසිපන්ලක්ෂයක් වගේ. අන්තර්ජාල පරිශීලකයන් ඔක්කොම බැලුවාම මිලියන 15ක් වගේ. මේ වගේ වෙලාවලදී රාජ්‍යතාන්ත‍්‍රික උපායමාර්ග අනුගමනය කළ යුතුයි. අපි වගේ රටවල් කළ යුත්තේ බංග්ලාදේශය. මාලදිවයින, නේපාලය වගේ බ්ලොක් එකක් හැටියට සමාගම් සමඟ අතරමැද එකඟතාවලට පැමිණීම. එක්සත් ජාතින්ගේ සංවිධානයේ තීරණාත්මක අවස්ථාවලදී කරන්නෙ එහෙමනෙ. ඒ උපායමාර්ගයම අපට මෙතැනදි අනුගමනය කරන්න බැරි ඇයි?”

සංලාපය: බිඟුන් මේනක ගමගේ

The English version of this interview will be published soon.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*