සුබසාධන ප්‍රතිලාභ බෙදාහැරීම සමෘද්ධි බැංකු ඒකාධිකාරයක් නොවිය යුත්තේ ඇයි?


Posted by on November 9, 2022  /  1 Comments

ගයනි හුරුල්ලේ

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2022 අගෝස්තු 29 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් (PWDs) සහ වකුගඩු රෝගීන් සඳහා මාසික මුදල් ආධාර ලබාදීම් 2022 සැප්තැම්බර් මාසයේ සිට සමෘද්ධි බැංකු හරහා කළ යුතුය. ප්‍රායෝගිකව මෙම පරිපාලනය ආරම්භ වීමට නියමිත වන්නේ ඔක්තෝබර් මාසයේ සිටයි.

යෝජිත බෙදා හැරීමේ යාන්ත්‍රණය කලින් භාවිතා කළ යාන්ත්‍රණයෙන් බොහෝදුරට වෙනස්ය. මෙතක් කල් එක් එක් යෝජනා ක්‍රමය වෙනුවෙන් වෙන වෙනම විවිධ බෙදාහැරීමේ ස්ථාන තිබුණි. සමෘද්ධි බැංකු භාවිතා කරනු ලැබුවේ සමෘද්ධි යෝජනා ක්‍රමය ආශ්‍රිත මෙහෙයුම් සඳහා පමණි. එය සමෘද්ධි මාසික මුදල් බෙදාහැරීමේ ස්ථානයක් ලෙස ද කටයුතු කරන ලදී. ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා, ආබාධිත ප්‍රතිලාභ සහ වකුගඩු රෝගීන්ගේ දීමනා පිළිවෙලින් තැපැල් කාර්යාල, රාජ්‍ය බැංකු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දෙන ලදී (වගුව 1). බෙදා හැරීමේ යාන්ත්‍රණයන්හි පැහැදිලි සම්බන්ධීකරණයක් නොමැති වීම, බිඳී විසිරුණු සමාජ සුබසාධන පද්ධතියක ලක්ෂණයකි. එබැවින්, තනි නාලිකාවක් හරහා බෙදා හැරීම විධිමත් කිරීම හොඳ තීරණයක් බව බැලූ බැල්මට පෙනේ. බෙදාහැරීම ක්‍රමවත් කිරීමට දරන ප්‍රයත්නයන් ප්‍රශංසනීය වුවද, සමෘද්ධි බැංකු පමණක් ප්‍රතිලාභ බෙදාදීම සඳහා යොදා නොගත යුතුය.

සමෘද්ධි බැංකු අපහසුය

1 වගුව: ප්‍රතිලාභ සහ ප්‍රතිලාභ බෙදාහැරීමේ මධ්‍යස්ථාන – 2022 ඔක්තෝබරයට පෙර

එසේ නොකිරීමට එක් හේතුවක් වන්නේ ප්‍රතිලාභීන්ගේ ගමන් කාලය සහ වියදම් ඉතිරි කර ගැනීමයි. දැනට සමෘද්ධි බැංකු ශාඛා ඇත්තේ 1,050ක් පමණය. LIRNEasia හි පර්යේෂණවලින් පෙනී යන්නේ ජනගහනයෙන් දුප්පත්ම 10% වන වඩාත්ම ආධාර අවශ්‍ය අය සමෘද්ධි බැංකුවක් වෙත යාමට සාමාන්‍යයෙන් කිලෝමීටර 8.3ක දුරක් ගමන් කළ යුතු බවයි. සමෘද්ධි  බැංකු මෙන් හතර ගුණයකට ආසන්න තැපැල් කාර්යාල සංඛ්‍යාවක් රටේ තිබේ. දැනට ඒවායින් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ලබන ලක්ෂ හතරකට වැඩි පිරිසකට සමෘද්ධි බැංකු හරහා මුදල් ලබාගැනීම සඳහා දැරීමට සිදුවන වියදම වැඩිවිය හැකිය.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන කලා* (නම වෙනස් කර ඇත) ජීවත් වන්නේ තැපැල් කන්තෝරුවකට මිනිත්තුවකින් යාහැකි දුරකිනි. සමෘද්ධි බැකුවට යාමට නම්, ඇයට ත්‍රිරෝද රියක යාමට සිදුවේ (බස් ගමනාගමනය හා සම්බන්ධයෙන් තිබෙන භෞතික ප්‍රවේශ්‍යතා ගැටලු හේතුවෙන් හෙවත් ඇය වැනි සංචලන දුබලතා ඇති අයට බස් ගමන් දුෂ්කර වීම හේතුවෙන්). එබැවින් රු. 1,900 ක ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඇයට රු. 1,700ක් වැය කිරීමට සිදුවේ.

රූපය 1: ආදායම් ඛණ්ඩයන් අනුව සමෘද්ධි බැංකුවට දුර

1 රූපය: ආදායම් කාණ්ඩය අනුව සමෘද්ධි බැංකුවට තිබෙන සාමාන්‍ය දුර

 

මූලය: LIRNEasia පර්යේෂණ

සමෘද්ධි බැංකු අකාර්යක්ෂමය

කොළඹ සමෘද්ධි ප්‍රතිලාභියෙකු වන රමණි* (නම වෙනස් කර ඇත) සඳහන් කළේ “මගේ නිලධාරියා සාමාන්‍යයෙන් උදේ 9.30ත් 10.30ත් අතර ප්‍රතිලාභ ලබාගන්න සමෘද්ධි බැංකුවට එන්නැයි අපට කියනවා. නමුත් සමෘද්ධි නිලධාරියා එන වෙලාව වෙනස් වෙනවා. මාසික මුදල් ගෙවීමට පෙර ඔවුන්ගේ ගිනුම් පොත් පරීක්ෂා කර අපගේ ණය සහ හිඟ මුදල් සොයා ගැනීමට ඔවුන්ට කාලය අවශ්‍ය වෙනවා. අපි අපේ දරුවන් පාසලෙන් ආපසු රැගෙන යාමට හැකි වන පරිදි සවස 1.30 වන විට අපගේ වැඩ කටයුතු අවසන් කරගැනීමට උත්සාහ කරනවා. නමුත් බොහෝ විට ඊට වඩා දිගු කාලයක් ගතවෙනවා. සමහර දවස්වල සමෘද්ධි බැංකුවේ නිලධාරියා නැති නිසා අපි හිස් අතින් ගෙදර එනවා.”

එවිට අසන්නට සිදුවන ප්‍රශ්නය නම්, වත්මන් ප්‍රතිලාභීන්ට කාර්යක්ෂමව ප්‍රතිලාභ බෙදාහැරීම සහතික කිරීම සඳහා සමෘද්ධි බැංකු අසමත් වේ නම් එම බැංකු දැනට කරනු ලබන ගෙවීම් තවත් 30%කින් වැඩිකරන්නේ කුමටද? අභ්‍යන්තර පද්ධති ඩිජිටල් කිරීම සඳහා පෙළඹවීමක් සිදුවී තිබේ. එය කාර්යක්ෂමතාව වැඩි කිරීමේ නිවැරදි පියවරකි. එහෙත්, ක්‍රියාවලීන් විධිමත් කර නිසි පරිමාණයෙන් ක්‍රියාත්මක වන තෙක් සහ නිලධාරීන් විසින් පද්ධතිය හසුරුවීමට අවශ්‍ය ඩිජිටල් නිපුණතා ලබා ගන්නා තෙක්, තවත් ප්‍රතිලාභ යෝජනා ක්‍රම තුනකින් එයට අධික ලෙස බර පැටවීම මගින් අවශ්‍ය කාර්යක්ෂමතා මට්ටම ලබාගත නොහැකි වනු ඇත. ඒ වෙනුවට, එමගින් ප්‍රතිලාභීන් වැඩිදුරටත් කරදරයට පත්විය හැකිය. වැඩිපුර එකතු කරන අය පසෙකින් තබා, ඉන්න සමෘද්ධිලාභින්ටත් ලැබෙන සේවය තවත් පහත වැටෙනු ඇත.

විකල්පයනට ඉඩ දීමේ වටිනාකම

සමෘද්ධි නොවන, රාජ්‍ය/ වාණිජ බැංකු හරහා ප්‍රතිලාභ ලබා දීම වඩා පහසු විය හැක. සමෘද්ධි බැංකු මෙන් හතර ගුණයකට වඩා මුදල් ලබාගත හැකි ස්ථාන (මුදල් ආපසු ලබා ගත හැකි ශාඛා සහ/ හෝ ATM යන්ත්‍ර) තිබේ. ඒ සඳහා වැයවන්නේ යෝජිත ක්‍රමවේදයට පිවිසීමට ගත වන කාලයට හා වියදමට වඩා අඩු ගමන් කාලයක් සහ වියදමකි. ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ATM යන්ත්‍ර භාවිතා කිරීම මගින් ඒ සඳහා ගතවන කාලය ද අඩු කළ හැකිය. 2021 සිට LIRNEasia හි ජාතික නියෝජිත සමීක්ෂණය විසින් ද පෙන්නුම් කරන්නේ නිත්‍ය සුබසාධන ප්‍රතිලාභ ලබන කුටුම්භවලින් 70%කට (උදා: ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා සහ ආබාධිත පුද්ගලයන් සඳහා වන ආධාර) සමෘද්ධි නොවන බැංකුවල ගිණුම් ඇති බවයි. එය ඉලක්ක කණ්ඩායමේ විශාල කොටසක් වෙනුවෙන් භාවිතා කළ හැකි විකල්පයකි.

කෙසේ වෙතත්, ප්‍රතිලාභ බෙදා හැරීමේදී අපි එක් ක්‍රමවේදයකට පමණක් සීමා විය යුතු නැත. විශේෂයන් ඩිජිටල්කරණ සන්දර්භය තුල එසේ සීමා වීම අවශ්‍ය නැත. බැංකු සමඟ වෙනත් බෙදාහැරීමේ ස්ථාන ද භාවිතා කළ හැකිය. විකල්ප කිහිපයක් තිබීම ප්‍රතිලාභීන්ට තමන්ට මුදල් ලබාගැනීමේ වඩාත් පහසු ස්ථානය ස්වාධීනව තීරණය කිරීමට උපකාර වේ. ප්‍රතිලාභියාට තමන් කැමති එකතු කිරීමේ ස්ථානය (උදා: බැංකුව හෝ තැපැල් කාර්යාලය) සඳහන් කළ හැකි අතර, අදාළ රාජ්‍ය ආයතනයට එහි අරමුදල් යොමු කළ හැකිය. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමවේදය මෙහිදී ද අනුගමනය කළ හැකිය. එහිදී විශ්‍රාමිකයන්ට  තැපැල් කාර්යාලවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට හෝ ඕනෑම සාමාන්‍ය බැංකු ගිණුමක ඒවා තැන්පත් කිරීමට හැකිය.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, දේශපාලනීකරණය වැනි පද්ධතිමය දෝෂ සහිත බව ඉතා හොඳින් දන්නා සමෘද්ධි බැංකු කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය නොතැබීමයි. ඒ වෙනුවට අප අවධානය යොමු කළ යුත්තේ විනිවිද පෙනෙන ක්‍රියාවලීන් කෙරෙහි සහ පුරවැසියන්ට මෙම ප්‍රතිලාභ පහසුවෙන් ලබාගත හැකි බව සහතික කිරීම කෙරෙහිය. මෙම චක්‍රලේඛය ප්‍රතිලාභීන්ගේ ප්‍රතිඵල වැඩිදියුණු කිරීමේ අභිලාෂයෙන් නිකුත් කරන ලද එකක් මිස 25,000ට අධික සමෘද්ධි නිලධාරීන්ගේ බලය රැකගැනීමේ අවශ්‍යතාවෙන් කළ එකක් නොවන බව අපි සිතමු.

ගයනි හුරුල්ලේ LIRNEasia ආයතනයේ සමාජ ආරක්ෂණයට අදාළ පර්යේෂණ බාර ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කලමනාකාරිනියකි.

1 Comment


  1. Superb article Gayani
    In productivity terms, you have analyzed every corner of the situation. Subsidy means it is a cost normally without a return. Then why you increase the cost to receive a subsidy to both paying party, the government and to the receiver?
    Samurdhi means prosperity, then even the Samurdhi program can not deliver intended prosperity to low end income earners. Then why you add subsidy receivers to it? Food for thought