Learnings on disaster risk reduction in Sinhala


Posted by on October 13, 2021  /  0 Comments


2004 සුනාමි ව්‍යසනයෙන් පසු උගත් දේ, කේ. එල්. ගුණවර්ධන (සංස්කාරක), උදාවක උදානය: සර්වෝදය ශාස්ත්‍රීය සංග්‍රහය (පිටු 186-201). මොරටුව: සර්වෝදය, 2018. [What was learned after the 2004 tsunami disaster, in K.L. Gunawardene (ed.), Udaavaka udaanaya: Sarvodaya scholarly collection (pp. 186-201). Moratuwa: Sarvodaya.]

ඉන්දුනීසියාවට ආසන්න මුහුදු පත්ලේ හට ගත 2004 සුනාමිය අපේ නැගෙනහිර වෙරළට ළඟාවන්නට විනාඩි 90 ක් ගතවිය. එය දිවයින වටා ඇදී ගොස් දකුණු, බස්නාහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවලට පහරදෙන්නට තව පැය කීපයක් ගත විය. ඒ ගැන අනතුරු අඟවන්නට සමත් නොවීම හේතුවෙන් රටේ පුරවැසියන් 600 කට එක් අයකුගේ ජීවිත අහිමි විය. සුනාමි ව්‍යසනය සිදුවී වසර 14ක් ගතවී ඇත. එදා සිට අද දක්වා ගොඩ නගා ගත් දැනුම ඒකරාශී කොට ගෙන සුනාමි පමණක් නොව අනෙකුත් ආපදාවන්ගෙන් ද සිදුවියහැකි අවදානම අඩුකිරීම පිණිස කල යුතු දේ තව බොහොමයක් ඇත.

ආපදා අවදානම අඩුකිරීමේ ක්ෂේත්‍රය තුල දැනුම උත්පාදනය කිරීමෙහි සහ එම දැනුම, අවශ්‍ය ස්ථානවලට යෙදවීමේ කටයුත්තෙහි ලර්න්ඒෂියා ආයතනය පසුගිය කාලය තුල යෙදී සිටියේය. මෙම කටයුත්තේදී සර්වෝදය ප්‍රමුඛ හවුල්කරුවන් රැසකගේ ද සහාය ලබාගන්නා ලදි. මෙහිදී ජනතාව වෙත පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීමේ කාර්යය වෙත විශේෂිත සහ වැඩි අවධානයක් යොමුකරන ලද්දේ එම අංශය වැඩි ප්‍රතිපල ලබාදීමට සමත් බවට අප විශ්වාස කළ බැවිනි.

පූර්ව අනතුරු ඇඟවීම්
සුනාමි සම්බන්ධ ක්ෂේත්‍රයන්ගෙන් කවර විශේෂිත විෂයයන් සම්බන්ධව කවර පර්යේෂණයන් සාර්ථක වේද කවර නිගමනයන් ක්‍රියාත්මක වේද නැද්ද යන්න 2005 වර්ෂයේදී අප දැන සිටියේ නැත. ඇමතිය හැකි චන්ද්‍රිකා ගුවන් විදුලි සේවා මගින් අනතුරු හැඟවීම සම්බන්ධයෙන් අප තුල දැඩි අපේක්ෂාවන් තිබිනි. මෙහිදී, ගුවන් විදුලි යන්ත්‍රයක් අක්‍රිය කොට ඇති අවස්ථාවක දී දුරස්ත ක්‍රමයකින් ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කොට හෝ වෙනත් නාලිකාවකට සවන් දෙන අවස්ථාවක් නම් එම නාලිකාව මාරුකොට පූර්ව අනතුරු ඇඟවීම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමයක් ඉංජිනේරුවන් විසින් සොයාගෙන තිබින. සුනාමියට ගොදුරු වුනු සර්වෝදය ගම්මානයන් 32ක මේ සම්බන්ධ නියමු පරීක්ෂණ පවත්වන ලද අතර තවත් දියුණු කිරීම් ද කරන ලදී. ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්ව තිබියදී පාදක සේවාවන් ලබාදුන් සමාගමේ ව්‍යාපාරයන් ඇණහිටිහෙයින් ඒ සමගම චන්ද්‍රිකා ගුවන් විදුලිය යොදාගනිමින් ආපාදා අවස්ථාවකදී පළමු ප්‍රතික්‍රියාකරුවන් (රජයේ නිලධාරීන්, ප්‍රජා නායකයින් ආදීන්) යොදාගැනීමේ අවස්ථාව ද ගිලිහිනි.

Common Alerting Protocol හෙවත් CAP බලාපොරොත්තු නොවූ සාර්ථකත්වයක් ලැබූ ක්‍රමවේදයකි. CAP ක්‍රමයෙහි වටිනාකම පිළිබඳව එකල අපට එතරම් වැටහීමක් නොතිබුන ද 2005 මාර්තු මාසයේදී අප නිකුත් කළ “ශ්‍රී ලංකාව සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමයක්“ වාර්තාවට CAP පිලිබඳ නිර්දේශයක් ඇතුලත් විය.

බහු භාෂාවලින් සිදුකෙරුනු ප්‍රථම CAP අත්හදාබැලීම ශ්‍රී ලංකාවේදී සිදුකරන ලද්දේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනයේ (IDRC) අනුග්‍රහයෙන් සහ සර්වෝදය සහ සහයෝගීතාවයෙන් 2005 සිට සිදුකරන ලද ව්‍යාපෘතියේ එක් කොටසක් වශයෙනි. එම විෂයය පිළිබඳ පර්යේෂණ ලිපි නුවන් වෛද්‍යනාථ සහ ආචාර්ය දිලීකා ඩයස් ඇතුළු අය විසින් පල කරන ලදී. මේ තාක්ෂණික ප්‍රමිතිය සංවර්ධනය කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද වැදගත් කාර්යභාරය අගයකිරීමක් වශයෙන් CAP විශේෂඥයින්ගේ ප්‍රධාන පෙලේ හමුවක් 2014 ජූනි මස මීගමුවේ දී පවත්වන ලදි. එක්සත් ජාතීන්ගේ අදාල ආයතනවල මෙන්ම ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ සහ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ආයතනයේ නිල අනුග්‍රහය මත මෙම හමුව සංවිධානය කරන ලදි.

CAP තාක්ෂණයේ වැදගත්කම පැහැදිලිකිරීම පිණිස අද පවතින සහ 1978 වර්ෂයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ සුළි සුළඟ සිදුවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පැවති මාධ්‍ය සහ ආපදා කළමනාකරණ පරිසරයන්ගේ වෙනස දක්වා සිටිය යුතුමය. එම සුළි සුළඟින් 2,50,000 ක පමණ පිරිසක් අවතැන් වූවත් (2004 සුනාමියේදී අවතැන් වූ පිරිස මෙයට දල වශයෙන් සමානය) මියගිය සංඛ්‍යාව 900 ක් පමණකි (2004 ව්‍යසනයේදී 30,000 කට අධික පිරිසක් මිය ගියහ). ඒ වන විට රට තුල පැවතියේ එකම එක විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එනම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණකි. සංස්ථාව නාලිකා 6 ක් විකාශය කල ද සියළුම නාලිකා සඳහා ප්‍රවෘත්ති සහ තොරතුරු සම්පාදනය කිරීම සඳහා පැවතියේ එක් ප්‍රවෘත්ති අංශයකි. මම එකල එහි සේවය කලෙමි. සුළි සුළං අනතුරු ඇඟවීම පිණිස ඒ වනවිට පැවති එකම ආයතනය වූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය කිරීම ගුවන් විදුලි සංස්ථාවේ එකල පහසු කරුණක් විය. සුළි සුළං පැවති ප්‍රදේශවල පැවතියේ සාපේක්ෂව අඩු ගුවන් විදුලි යන්ත්‍ර සංඛ්‍යාවක් වුව ද එවකට එම ප්‍රදේශය භාර දිසාපතිවරයාව සිටි අභවප්‍රාප්ත අන්තෝනිමුත්තු මහතා ඇතුළු පිරිසට ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගෙන යාහැකි විය.

නමුත් අද වනවිට ජනමාධ්‍ය මෙන්ම නාලිකා රැසක් (රූපවාහිනී, ගුවන් විදුලි, ජංගම දුරකතන සහ අන්තර්ජාල) ද පවතින හෙයින් අනතුරු ඇඟවීමේ පණිවිඩ වැරදි ලෙස හෝ විකෘති කිරීම්වලින් යුක්තව හෝ සංනිවේදනය වීමේ ඉඩකඩ ඉහළ ගොස් තිබේ. එපමණක් නොව පොලීසිය ඇතුළු පළමු ප්‍රතික්‍රියාකරුවන්ට දැනුම්දීමේ ක්‍රමයේ සංකීර්ණතාවය ද එදාට වඩා අද බෙහෙවින් ඉහළය.

CAP ක්‍රමය තුලින් අපේක්ෂා කෙරෙනුයේ මෙසේ විකෘතිකිරීම් සිදුවීමේ අවස්ථා ඉවත්කිරීම සහ අනතුරු ඇඟවීමේ පණිවිඩය සංනිවේදනය කිරීමේ ශීඝ්‍රතාව ඉහළ දැමීමය. මේ ක්‍රමය නියාමාකාරයෙන්ම ක්‍රියාකරන අවස්ථාවේදී, අධිකාරිය ලත් ආයතනය විසින් එක් බොත්තමක් එබීමෙන් පණිවිඩය එක් එක් ආකාරවූ බහුවිධ මාධ්‍යවලට පරිවර්තනයවීම ස්වයංක්‍රීයව හා ක්ෂණිකව සිදුවේ.

ආපදා කළමනාකරන ක්ෂේත්‍රයේදී ශ්‍රී ලාංකිකයින් විසින් කරන ලද වඩාත්ම විශිෂ්ඨ සේවය සමහර විට “සහන මෘදුකාංගය“ විය හැකිය. සුනාමි ව්‍යසනයේ උණුසුම තිබියදීම ස්වේච්ඡා මෘදුකාංග සංවර්ධකයින් කණ්ඩායමක් විසින් සහන සංවර්ධනය කරනු ලැබින. අවතැන් වූවන් සම්බන්ධ තොරතුරු එනම් ඔවුන් නැවතී සිටින ස්ථානය, ඔවුන්ගේ ආහාර පාන හා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා ඇතුළු තොරතුරු ක්‍රමානුකූලව කළමනාකරණය කිරීමේ අවස්ථාව සැලසීමට සහන මෘදුකාංගය සමත්ය. එමෙන්ම, පස් ඉවත් කිරීමේ යන්ත්‍ර වැනි උපකරණ ඇති ස්ථාන වහාම සොයා ඒවා කැඳවාගැනීමේ හැකියාව ද මෙතුලින් ඇති කරයි.

සහන මෘදුකාංගය දැන් ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ද විහිදී ගොස් ලෝකය පුරා භාවිත කෙරෙන ආපදා කළමනාකරන උපාංගයක් බවට පත්වී තිබේ. හයිටි රාජ්‍යයේ භූමිකම්පාවෙන් පසුව සහන මෘදුකාංගය යොදවා ඇති අතර ඇමෙරිකාවේ සංවේදීම ප්‍රදේශයක්වූ නිව් යෝර්ක් නගරයේ ආපදා සඳහා සූදානම්වීමේ උපකරණ කට්ටලයේ කොටසක් ලෙසට ද එය යොදාගෙන තිබේ. 2014 වර්ෂයේ මීගමුවේ පැවැත්වුනු විද්‍යාත්මක හමුවට සහන සංවර්ධනය කිරීමේ කටයුත්තේ යෙදුනු කණ්ඩායමේ ප්‍රධානීන් එක්වූ අතර ඒ අවස්ථාවේ දී ඒ සම්බන්ධ කරුණු ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලදි.

අපේ වෙරළ තීරයට මහත් විනාශයක් ගෙන ආ 2004 සුනාමියේ සිට මේ දක්වා ගතවූ කාලය දෙස හැරී බලනවිට අපට කිසියම් තෘප්තියක් ඇති කරගත හැක. මන්ද එවන් අවස්ථාවලදී සිදුවිය හැකි ව්‍යසන හා මරණ සංඛ්‍යාව අඩුකරගැනීම පිණිස අප විද්වතුන් විසින් කිසියම් දායකත්වයක් ලබා දී ඇති හෙයිනි.

පූර්ව අනතුරු ඇඟවීම් වලින් ඔබ්බට
හුදෙක් පූර්ව අනතුරු ඇඟවීම් වලට සීමා වී ආපදා අවම කර ගත නොහැකි බව ඔප්පු කලේ සර්වෝදය ප්‍රමුඛ භූමිකාවක් රඟපෑ 2016 කැළණි ගංවතුර ආපදාවයි.

කාලගුණ තත්වය ශ්‍රී ලංකාවට බලපෑ හැකි අයුරු පිළිබඳව 2016 මැයි 14 වන දින මට ලැබුණු ට්වීටයක් අන් අයගේ දැන ගැනීම උදෙසා මම යළි ට්වීට් කළෙමි. එහි අන්තර්ගතය වූයේ ″කාළගුණ අනතුරු ඇඟවීම- ඉදිරි පැය 24/48 ඇතුලත ශ්‍රී ලංකාවට දැඩි වර්ෂාපතනයක් පතිත වනු ඇත. ක්ෂණික ගංවතුර තත්වයන් සහ නාය යෑම් අවදානම පිළිබඳව ජනතාවට සැලකිල්ලෙන් පසු විය යුතුය″ යන්නය. වෙසක් සමයේ ආපදා තත්වය පිළිබඳව ජනතාව දැනුවත්ව නොසිටියේ යැයි දැන් සමහරු ප්‍රකාශ කරතත් එය පූර්ණ සත්‍යයක් නොවන බව ඉහත කරුණෙන් පැහැදිලි වනු ඇත.

පූර්ව අනතුරු ඇඟවීම් ජනතාව වෙත ලබා දීමට, අනතුරුදායක ස්ථාන වලින් ඉවත් වන ලෙස ජනතාවට නියෝග කිරීමට, එසේ නිවැසියන් ඉවත් කරන නිවාස වලට ආරක්ෂාව ලබා දීමට යනා දී වශයෙන් බොහෝ දේ සිදු කිරීමට රජය කටයුතු නොකළේ මන්දැයි දැන් සමහරු ප්‍රශ්න කරති. මගේ අදහස නම් එසේ කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් නැති බවයි. පූර්ව අනතුරු ඇඟවීම් සිදු කල අවස්ථා වල දී ජනතාව ඒවාට සවන් දී ඒ අනුව ක්‍රියා නොකිරීමට සහ නිවෙස් වලින් ඉවත් වීමේ නියෝග නිකුත් කළ අවස්ථාවන්හි දී ඒවාට අවනත නොවීමට හේතු මොනවාද යන ප්‍රශ්නය නැගීම ඊට වඩා උචිතය.

මේ වනාහී දස වසරකට වැඩි කාලයක් තිස්සේ ආපදා අවදානම් අවම කිරීමේ සහ ආපදා වලට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වලට සම්බන්ධ පර්යේශණ කටයුතු කිරීම තුලින් අප වටහා ගත් කරුණුයි.

උපද්‍රව සහ ආපදා
මේ වදන් දෙකෙන්ම කියැවෙන්නේ එකක් බව බොහෝ දෙනෙකු සිතනු ඇතත් ආපදා සම්බන්ධ කටයුතු වල නිරත වෘත්තිකයින්ට අනුව එය එසේ නොවේ. කිසියම් උපද්‍රවයක් ආපදාවක් බවට පත් වන්නේ එය මනුෂ්‍ය වර්ගයා සමග ගැටීමෙන් අනතුරුවය. අපට උපද්‍රවයක් ඇති තැනින් ඉවත්ව සිටිය හැකි නම් එතැන ආපදාවක් ඇති නොවේ. අපට වින කර, වඩා ප්‍රබලවී රෝනු යයි නම් කරන ලද සුළි සුළඟ බංගලාදේශයේ ගොඩබිම් කරා යන තුරු එය එරටට උපද්‍රවයක් පමණකි. උපද්‍රව අවදානම අවම කිරීම යනු ජනතාව එය එන මාර්ගයෙන් ඉවත් කිරීමයි. ජනතාව මුළුමනින්ම ඉවත් කළ නොහැකි තත්වයක් තුල අවම වශයෙන් උපද්‍රවය සහ මනුෂ්‍යයා අතර ගැටීම හැකි තරම් අඩු කිරීමයි.

උපද්‍රව සහ ආපදා තත්වයන්ට සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීම් සහ තොරතුරු හා සංනිවේද තාක්ෂණයන් යොදා ගත හැකි වන්නේ මෙහිදීය. උපද්‍රවය හඳුනාගැනීමේ සහ ඒවා නිරන්තරව සුපරීක්ෂණය කිරීම යන කරුණු දෙකෙහි දී (උදා. අවපීඩන තත්වයන් ඇතිවෙමින් පවතින බව කාළගුණ චන්ද්‍රිකා මගින් දින ගණනාවකට කළින් අපට දැන ගත හැක) සහ පළමු ප්‍රතිචාරකයින්ට (උදා. ජනතාව අනතුරෙන් ඉවත් කිරීම කළමනාකරනය කිරීමේ හැකියාව ඇති රජයේ නිලධාරීන්) මෙන්ම අනතුරට ගොදුරු වීමට ඉඩ ඇති ජන කොටස් වලට යුහුසුළුව අනතුර පිලිබඳ පණිවිඩ යැවීමේදී තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය නිසා ගුණාත්මක වෙනසක් සිදුවී ඇත. මිනිසුන් හෝ පරෙවියන් මගින් පණිවිඩ යැවීමට සිදුවූ කාලය සමග සසඳන විට අපි බොහෝ ඉදිරියෙන් සිටිමු.

ශ්‍රී ලංකාවට බලපාන ස්වභාවික ආපදාවන් සොයා දැන ගැනීමට සහ සුපරීක්ෂණය කිරීමට යොදා ගැනෙන විද්‍යාව බොහෝ සෙයින් දියුණු තත්වයකට පැමිණ ඇත. භූ කම්පන ගැන පෙර නිමිති කීම දුෂ්කර වුවද, ඒවා අපට බලපාන්නේ සුනාමි තත්වයන් ඇති කිරීමට සමත් වන ප්‍රමාණයේ තරමටය. 2013 කුටුම්භ සමීක්ෂණයට අනුව අපේ රටේ කුටුම්භයන් සියයට 88.5 ක් සතුව දුරකතන පහසුකමක් ද සියට 82.7 ක් සතුව රූපවාහිනී යන්ත්‍ර ද (දැන් මේ සංඛ්‍යාවන් මීට වඩා ඉහළ විය යුතුය) බැවින් ඉලක්කගත කණ්ඩායම් වෙත මෙන්ම මුළු මහත් ජනගහනයට පණිවිඩ යැවීමේ තාක්ෂණික හැකියාව අප සතුය. අභ්‍යන්තර තීරණ ගැනීමට ගත වන කාලය, පණිවිඩ සැලසුම් කිරීම සහ පවතින තාක්ෂණික ක්‍රම පලදායී සහ කාලෝචිත අයුරින් යොදා ගැනීම වැනි කරුණු සම්බන්ධ ගැටළු අපේ අනතුරු ඇඟවීම් පණිවිඩ ලබා දීමේ ″සැපයුම් පාර්ශවයෙහි″ පවතී.

ඉහත සඳහන් කරන ලද කරුණු තුන අතුරින් ලර්න්ඒෂියා ආයතනයේ අප, පසුගිය කාලය තුල ක්‍රියා කොට නැත්තේ පණිවිඩ සැලසුම් කිරීම සම්බන්ධයෙන් පමණකි. එබැවින් මෙම ලිපියෙන් ඒ විෂයයට අවධානය යොමු කෙරේ.

සහකම්පනය
ජනතාව අනතුරු ඇඟවීම් හෝ නිවෙස් හැර යාමේ නියෝග නොතකා හරින බව පෙනී යන විට නැගෙන සාමාන්‍ය ප්‍රතිචාරය වනුයේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දෝෂාරෝපණය කිරීම හෝ බලහත්කාරයෙන් එම නියෝග ක්‍රියාවට නැංවීමට පවතින හැකියාව පිළිබඳව සොයා බැලීමයි. එහෙත්, ජනතාව විසින් අනතුරු ඇඟවීම් මත ක්‍රියා නොකර සිටීමට සාධාරණ හේතු ඇති බව අපගේ පර්යේෂණ තුලින් මෙන්ම ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන වෙනත් පාර්ශව වලින් ද අපට උගත හැකි විය. ජනතාව පිළිගන්නා ආකාරයේ පණිවිඩ සාර්ථකව සැලසුම් කිරීමේ අවශ්‍යතාවය අපට ඇත්තේ නම් අප වැඩ ආරම්භ කළ යුතු වන්නේ පණිවිඩය ලබන්නා ගේ මානසිකත්වය අවබෝධ කර ගැනීම තුලිනි. මෙහි දී අප විසින් යොදා ගත යුතු වන්නේ සහකම්පනයයි.

ජනතාව විපතට පත්වීමෙන් වලකා ගැනීමේ මූලිකම පියවර වන ඔවුන් සිය නිවෙස් වලින් ඉවත් වීම යනු එයට භාජනය වන පුද්ගලයින් ගේ ජීවිත වල දැඩි බලපෑමක් ඇති කරන කරුණක් වන අතරම ඒ හා බැඳුනු අති විශාල අවදානමක් ද පවතී.

″ අපි යන්නෙ කොහාට ද? නෑයෙක්ගෙ යාළුවෙක්ගෙ ගෙදරකට ද? ඒ අය අපට නවාතැන් දෙයි ද, නොදෙයි ද? ඒ අය අපට සලකයි ද? අපේ බල්ලා එහෙට ගෙනියන්න ඉඩ දෙයි ද? නෑයෙක්ගේ හරි යාළුවෙක්ගෙ හරි ගෙදර නොවෙයි නම් යන්නේ වෙන කොහේට ද? අපේ පවුලට එතැන ආරක්ෂාව තියෙයි ද? මගේ දුවට කවුරු හරි කරදරයක් කරයි ද? අපේ අතේ තියෙන දේවල් හොරු ගනී ද?″
″අපි ගියාම අපේ ගෙට, දේපළ වලට මොනවද වෙන්නෙ? තියෙන දේවල් මංකොල්ල කයි ද?″

ශ්‍රී ලංකාව ක්‍රමයෙන් සමෘද්ධිමත් රටක් වීමත් සමගම නිවෙස් හැර යාමේ අවදානම තව තවත් ඉහළ යන අතර ඒ සඳහා තිරණයක් ගැනීම වඩාත් දුෂ්කර කාර්යයක් බවට පත් වේ. රජයේ ඉඩම්වල අනවසරයෙන් තැනූ පැල්පත් වල වෙසෙන දිළිඳු ජනතාවට පමණක් නොව, දේපළ හිමි, මධ්‍යම පාංතික නිවැසියන්ටද ගංවතුර ඒමට පෙර නිවෙස් හැර යාම අතිශයින් දුෂ්කර කටයුත්තකි.

ඉහතින් දක්වන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට ආපදා කළමනාකරුවන්ට හැකියාව තිබිය යුතුය. අවම වශයෙන් පොදු නැවතීම් පහසුකම් සහ පුද්ගල සහ දේපළ ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලට පිළියම් ඔවුන් වෙත තිබිය යුතුය. කල් තබා සකස් කරන ලද සැලසුම් සහ සම්මත මෙහෙයුම් ක්‍රමවේදයන්, රජය විසින් හෝ රාජ්‍ය නොවන ආයතනයන් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සහ පලදායී ලෙස සංනිවේදනය කිරීමට සමත් වන්නේ නම් තාවකාලික පොදු නවාතැන් වෙත යාමට සිදුවන ජනතාවට යම් තරමක හෝ සහනයක් ගෙන දීමට හේතු වනු ඇත. යුද්ධයෙන් සහ සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ පිරිස් වලට මහා පරිමාණ කඳවුරු සහ සුරක්ෂා ස්ථාන පවත්වා ගෙන යාමෙන් අප විසින් ලබා ගන්නා ලද අත්දැකීම් මෙහි දී අපට මූලික වශයෙන් යොදා ගත හැකි වේ.

නිවාස සහ දේපළ ආරක්ෂාව සහතික කිරීම, අපේ වැනි සමාජයක් තුල ඉතාමත් දුෂ්කර කරුණකි. සුනාමි ව්‍යසනයෙන් පසුව අපට පෙනී ගියේ සමහර නිවාස වල දොරගුළු දැමීමේ හැකියාවක් නොතිබි බවයි. අගුළු දැමීමේ හැකියාවක් තිබුන ද ඒවා පිළිබඳව විශ්වාසය තබා නිවෙස් හැර යන්නෝ විරලය. සුනාමියේ දරුණු උදහස මතකයේ අළුත්ව පවතිද්දී පවා, ව්‍යසනයෙන් මාස කිහිපයකට පසුව අනතුරු ඇඟවීමක දී සිය නිවෙස් සම්පූර්ණයෙන්ම හිස් කර යාමට නොකැමති වූවන් අපට දක්නට ලැබිනි. ඔවුන් කලේ එක් අයකු නිවසේ ආරක්ෂාව සඳහා ඉතිරි කොට අනෙක් අය ඉවත්ව යාමයි.

ජලයෙන් යටවූ ප්‍රදේශ වටා පොලීසිය ආරක්ෂක වළලු යෙදුවහොත් නිවෙස් අතහැර ගිය හැකි නොවේදැයි මා ඇසුවේ සුනාමි ප්‍රතිචාර සම්බන්ධයෙන් හවායිහි සිවිල් ආරක්ෂක බලකාය වෙතින් කරුණු ඉගෙන ගෙන පැමිණීමෙන් අනතුරුවය. ″එතකොට පොලිසිය අපේ ගෙවල් මංකොල්ල කයි″ යනුවෙන් මට ප්‍රතිචාර ලැබින.

මේ සඳහා සාර්ථක විය හැකි එකම ආකාරය නම් කිසියම් ආකාරයක විශ්වාසදායී ප්‍රජා-මූලික ක්‍රමයක් සකස් කර ගැනීමයි. සුනාමි ව්‍යසනයෙන් අනතුරුව සර්වෝදය ගම්මාන සමග කටයුතු කිරීමෙන් එම අදහස අප තුල ඇති විය. තමන් ගේ ම වූ සංවිධාන සහ නායකයින් ඇති ගම්මාන හෝ ප්‍රජාවන් සම්බන්ධයෙන් නිවෙස් හැර යාම නිසි පරිදිම ක්‍රියාත්මක කළ හැක.

නිවෙස් හැර යාමේ නියෝග වැනි විශාල වැදගත් කමකින් යුත් පණිවිඩ ප්‍රතිපලදායී වීමට නම් ඒවා විශ්වසනීය විය යුතුමය. ඒවා වැදගත් මූලාශ්‍රයක් වෙතින් නිකුත් විය යුතු අතර නිරවද්‍යභාවය සනාථ කර ගැනීමට මගක් ද තිබිය යුතුය. එමෙන්ම, ඒ පණිවිඩ, නිවෙස් අතහැර යන පුද්ගලයින්ට පසුව අත් විඳින්නට ලැබෙන සැබෑ අත්දැකීම සමග ගැලපිය යුතුය.

පණිවිඩ සැකැස්ම
කියවන පුද්ගලයකු කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිදැයි මෙහි ආරම්භයේ දක්වා ඇති පණිවිඩ කියවා බලන මට සිතුනි. උදාහරණයක් ලෙස, මා කෑගල්ල දිස්ත්‍රික්කයේ වැසියකු යැයි සිතමු. දිස්ත්‍රික්කයේ නායයෑම් අනතුරක් ඇතැයි මට දන්වනු ලැබුවහොත් මා කළයුත්තේ කුමක් ද? මා ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට නම් ″නොකඩවා පැයකට වැඩි වර්ෂා පතනයක් පතිත වුවහොත් මගේ නිවසට ඉහළින් ඇති අසුවල් කන්ද නාය යෑමට සියයට 75 ක සම්භාවිතාවයක් තිබේ″ වැනි නියත පැහැදිලි අනතුරු ඇඟවීමක් මට ලැබිය යුතුය. මා යා යුත්තේ කොතැනකටදැයි යන්න ද මා දැන ගැනීම අවශ්‍යය. කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින්නේය යන අනිශ්චිත පණිවිඩය වෙනුවට මට දිය යුතු වන්නේ අසුවල් දිනයේ සවස 6 පමණ වන විට මගේ නිවස පවතින ප්‍රදේශයේ දී ජල මට්ටම මීටර් දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි යන ආකාරයේ නිශ්චිත පණිවිඩයකි.

දැනට පවතින තාක්ෂණයන් භාවිත කරමින් ඒ ආකාරයේ පුරෝකතනයන් කිරීමේ හැකියාව තිබේ. එමෙන්ම, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයේ වර්තමාන හැකියාවන් යොදා ගනිමින් නිශ්චිත ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් මෙවැනි පණිවිඩ යැවීමේ හැකියාව ද තිබේ. කඩුවෙල ප්‍රදේශයට බලපෑ හැකි තත්වයක් පිළිබඳව හංවැල්ලේ වැසියන්ට දැන්වීමේ අර්ථයක් නැත. නිශ්චිත තැනකට ඉලක්ක විය යුතු තොරතුරු රටේ සියළු දෙනා වෙතම යැවීමෙන් සිදු වනු ඇත්තේ ලැබෙන සියලු පණිවිඩ පිළිබඳව අවධානය දැක්වීම ජනතාව විසින් නවතා දැමීමයි.

එසේ නම්, කළ යුත්තේ කුමක් ද?
නිවෙස් හැර යාමේ තීරණය පිළිබඳ අප බැලිය යුතු වන්නේ එසේ හැර යාමට සිදු වන පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයෙනි. නිවෙස් වලින් පිටව ගොස් නැවතිය හැකි ස්ථාන සහ ආරක්ෂක ක්‍රියාමාර්ග වැනි කරුණු සම්බන්ධයෙන් කල් තබා කටයුතු සලසා තිබිය යුතු අතර එම තොරතුරු ද අදාල පුද්ගලයින් වෙත සංනිවේදනය කළයුතු වේ. ප්‍රශස්ත තත්වය වනු ඇත්තේ අනතුරට බඳුන් විය හැකි ජනතාවට පමණක් මේ පණිවිඩ සීමා කිරීම සහ අවදානම උපරිම මට්ටමට පැමිණීමට ආසන්න අවස්ථාවක ඒවා නිකුත් කිරීමයි.

නිවෙස් හැර යාමේ පණිවිඩ හැකි තරම් දුරට නිශ්චිත තොරතුරු වලින් යුක්ත විය යුතුය. අවදානම් සොයා දැන ගැනීමේ හා සුපරීක්ෂණය කිරීමේ තාක්ෂණයන් අත් කර ගෙන ඇති දියුණුව නිසා මේ ආකාර වූ පුරෝකතන සිදු කිරීමේ හැකියාව තිබේ.
මෙවැනි, විස්තරාත්මක පණිවිඩ සියළු දෙනා වෙතම යැවීම පුරුද්දක් සේ කළහොත් සිදුවනු ඇත්තේ තමන්ට අදාල පණිවිඩයක් ලැබුනු අවස්ථාවක පවා ජනතාව විසින් ඒවා නොතකා හැරීමයි. එහෙයින්, අදාල අධිකාරීන් විසින්, නිශ්චිත භූගෝලීය ප්‍රදේශ වලට අනතුරු ඇඟවීමේ පණිවිඩ ලබා දීම පිණිස මේ වනවිටත් ජංගම දුරකතන සේවා සපයන්නන් සතුව පවතින cell broadcasting වැනි නවීන තාක්ෂණයන් භාවිත කළ යුතුය. එවිට හංවැල්ලේ වැසියන්ට එක් පණිවිඩයක් ලැබෙනු ඇති අතර කඩුවෙල වැසියන්ට ලැබෙනු ඇත්තේ වෙනත් පණිවිඩයකි.

මෙවැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්නට අප ක්‍රියා කළහොත් ජීවිත විනාශ වීම් බොහෝ සෙයින් අඩු කරගන්නට අපට හැකි වනු ඇත. පුද්ගල ජීවිත පමණක් නොව ඔවුන්ගේ ජීවනෝපායන් ද රැක ගැනීමට නම් අප විසින් තවත් බොහෝ දේ කළ යුතුව තිබේ. සෑම ආපදාවකින්ම අනතුරුව නැවත වඩා ආරක්ෂිතව ගොඩනැගීම අරඹන්නට අපට සිදුවේ. අපේ යටිතල පහසුකම්, අපේ ගොඩනැගිලි මෙන්ම අපේ ජීවනෝපායයන් ද ආපදාවන්ට ඔරොත්තු දෙන අයුරින් සැලසුම් කරන්නට අපට සිදුවේ.
නායයෑමේ අවදානම් සම්බන්ධයෙන් කළහැක්කේ මොනවා ද?

නායයාම් යනු සුනාමි සහ සුළි සුළං වලින් බෙහෙවින් වෙනස් ආකාරයක් ගත් ව්‍යසන තත්වයකි. නාය යාමකින් සිදු විය හැකි විපත අවම කිරීම පිණිස දායක විය හැකි පූර්ව දැනුම් දීමේ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයෙන් කවරාකාර වූ පිහිටක් ලබා ගත හැකිදැයි මා ද මැදිහත් වූ ප්‍රයත්නයක් මුල් වරට සිදු කරන ලද්දේ 1986 තරම් ඈත කාලයේ දී ය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය තුල දී සිදු කරන ලද මෙම ප්‍රයත්නයේ දී එම කාර්යය සඳහා සංවේදකයන් යොදා ගැනීමේ හැකියාවක් තිබේදැයි විමසා බලන ලදී. නමුත්, ගමක් මතට කන්දක් පාත්වෙන අවස්ථාවක් සඳහා විසඳුම, පූර්ව දැනුම් දීමේ ක්‍රමයක් තුල නොමැති බව අවබෝධ කර ගැනීමට අපට වැඩි කලක් ගත නොවිනි. විසඳුම විය යුත්තේ අවදානමට ලක්ව ඇති ගම වෙනත් ස්ථානයකට ගෙන යාම බව පැහැදිළි විය.

නාය යාම් අනතුරුවලට බඳුන් විය හැකි ප්‍රදේශ මොනවාදැයි බොහෝදුරට නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මේ වන විට අපට තිබේ. එමෙන්ම, බෑවුම් කඩා වැටීමේ අවදානම වලක්වන ක්‍රම හඳුන්වා දීම අතින් ද පසුගිය දශක තුන ඇතුලත අප විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත.

අවදානම හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ
මීට වසර කිහිපයකට පෙර කොස්ලන්ද ප්‍රදේශයේ නායයාම් අනතුර කලින් හඳුනා ගෙන තිබූ අතර එම ගම්මානයේ වැසියන්ට පදිංචිවීම සඳහා විකල්ප ඉඩම් ද ලබා දී තිබිනි. නමුත්, ඉඩම් ලබා දීම පමණක් නොසෑහේ. කොස්ලන්දේ විපතට පත්වූ වැසියන්ට වර්ෂා මානක මෙන්ම මෙගා ෆෝන් ද ලබා දී තිබින. අවසානයේ දී පෙනී ගියේ ඒවා ද නොසෑහුනු බවයි.

කිසියම් ජන කොටසක් තමන් පදිංචි වී සිටින ස්ථානයෙන් ඉවත් කර අන් තැනක පදිංචි කිරීම පහසු කරුණක් නොවේ. වෙරළේ සිට මීටර් 100 සහ 200 ක් ආදී වශයෙන් වූ භූමි භාගයන් ගොඩනැගිලි ඉදිරිකිරීමට තහනම් කළාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට කුමාරතුංග රජය විසින් අණ කරන ලද අවස්ථාවේ ඉදිරිපත් වූ තර්ක විතර්ක මෙහි දී ද එකසේ වලංගු ය. ජනතාව ගේ ජීවන මාර්ගයට ඉඩ සැලසීම සහ අවදානම අඩු කිරීම යන කරුණු දෙකට සෑමවිටම තුලනය කල යුතුය. එම අවස්ථාවේ දී තහනමට විරුද්ධව ඉදිරිපත් කරන ලද කරුණු වලට සවන් යොමු කරන ලද අතර තහනම ඉවත් කරනු ලැබිනි.

පදියපැලැල්ල සහ පේරාදෙණිය යන නගර දෙක වෙනත් ස්ථාන වලට ගෙන යා යුතුයැයි නිර්දේශ ඉදිරිපත් කර තිබුන ද ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ ආයතනය විසින් බෑවුම් කඩා වැටීම වලක්වන පිළියම් යොදනු ලැබීම නිසා එකී නගර දෙකම තිබූ ස්ථානවලම රඳවා ගැනීමට රජයට පිළිවන් විය. ඊළඟ වතාවේ ඔබ පේරාදෙණිය නගරය පසු කරන විට (මෙය හොඳින්ම දැකිය හැක්කේ නුවර සිට ආපසු එන ගමනේ දී පාලම මත සිටිමිනි) ඉහළ බැලුවහොත් බෑවුම් කඩා වැටීම වැලැක්වීම සඳහා කර ඇති පිළියම් මොනවාදැයි දකින්නට හැකි වනු ඇත.

පදියපැලැල්ල සහ පේරාදෙණිය නගර අනතුරේ හෙලමින් තිබූ බෑවුම්, කඩා වැටීම වලක්වන පිළියම් යොදන ලද්දේ වුව ද නගරයක් නොවූ, ලැයින් කාමර පේලියකින් සමන්විතව තිබූ කොස්ලන්ද සඳහා එවැනි පිළියම් යොදනු නොලැබිනි. කඩා වැටුනු කන්ද යට දැන් සැඟවී ගොස් ඇති නිවාස, ආර්ථික අගයෙන් පහළ මට්ටමක පැවතිනි. මෙහිදී ගන්නා ලද තීරණයේ ආර්ථික පැතිකඩ වටහා ගත හැකි වුවත් ව්‍යසනයෙන් අනතුරුව සිය දෙමාපියන් සොයා හඬා වැටෙන දරුවන් හැත්තෑ පස් දෙනෙකුගේ පමණ වැලපුම ඉවසා දරා ගැනීම දුෂ්කර කටයුත්තකි.

ලෝකයේ පොහොසත්ම රටවල් අතරින් එකක් වන අතරම නායයාම් ව්‍යසන සැලකිය යුතු ප්‍රශ්නයක්ව පවතින නෝර්වේ රාජ්‍යය වෙතින්, ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ ආයතනයට අයත් දේශීය විද්‍යාඥයින්ට ආධාර සපයනු ලබයි. ධනවත් නෝර්වේ රාජ්‍යය ද ඇතුළු සියළුම රටවලට, සම්පත් වල පවතින සීමිත බව හමුවේ මේ ආකාර වූ තෝරා ගැනීම් සිදුකරන්නට සිදුවීම වැලැක්විය නොහැක්කකි. එවැනි අවස්ථාවන්හි දී තෝරාගැනීම් වැඩි දියුණු කළ හැක්කේ කෙසේ ද?

භාවිත කළ හැකි විසඳුමක්
මනා වූ උපද්‍රව තක්සේරුකරණයක් තිබීම මෙවැනි විසඳුමක පදනමයි. එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නැතත්, ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකයින් වෙරළ තීරය සඳහා මේ ආකාර වූ තක්සේරුකරනයන් සකස් කර තිබේ. උදම් රළ සහ සුනාමි අනතුරු වලට ගොදුරු වීමේ වැඩිම අවදානම පවතින්නේ නැගෙනහිර වෙරළ තීරයේයැයි මම බොහෝ කලක් විශ්වාස කළෙමි. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ උපදේශකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ මන්නාරමෙන් උතුරේ, යාපනය නගරය ද ඇතුලත් වෙරළබඩ ප්‍රදේශයේ නැගෙනහිර වෙරළට ද වඩා වැඩි අවදානමක් පවතින බවයි. මෙවැනි අධ්‍යයනයන් සමස්ත රට සඳහාම සිදු කළ යුතු අතර ඒවායින් සොයා ගන්නා තොරතුරු ජනතාවට පහසුවෙන් දැන ගැනීමට හැකි වන පරිදි ප්‍රසිද්ධ කල යුතුවේ.

සැලකිය යුතු අවදානමක් පවතින ප්‍රදේශ වල පිහිටා ඇති පාසැල් සහ රෝහල් වැනි පොදු ගොඩනැගිලි අළුතින් ඉදිකිරීමේ දී සුදුසු ප්‍රමිතියට ඉදි කිරීම හෝ පවතින ගොඩනැගිලි නව තාක්ෂණයන් භාවිත කරමින් එම ප්‍රමිතිය දක්වා ඉහළ නැංවීම හෝ වෙනත් ස්ථාන වලට ගෙන යාම දැනට අපට ඉක්මනින් ගත හැකි ප්‍රායෝගික පියවරකි. නිවාස වැනි පෞද්ගලික ගොඩනැගිලි සම්බන්ධයෙන් අන් ආකාරයකින් කටයුතු කිරීම අවශ්‍ය වනු ඇත්තේ ඉහත දක්වන ලද කටයුතු සඳහා අවශ්‍ය අතිරේක මුදල් වැය කිරීමට ඒවායේ හිමියන්ට ආර්ථික ශක්තියක් නැති වීමට ඉඩ ඇති හෙයිනි.

පරමාදර්ශී තත්වයක් තුල, පෞද්ගලික නිවාස ද ඇතුළුව සියළුම ගොඩනැගිලි රක්ෂණය කළ යුතුව තිබේ. මෙහි මුල දී දක්වන ලද උපද්‍රව තක්සේරු පිළිබඳ තොරතුරු සියල්ලන් ගේ ම දැනගැනීම සඳහා ප්‍රසිද්ධියේ පවතී නම්, අවදානම අඩු ප්‍රදේශ වල නිවාස සඳහා අඩු රක්ෂණ වාරිකයන් සහ වැඩි අවදානම ඇති ප්‍රදේශ වල වැඩි වාරිකයන් ගෙවීමට සිදුවීම හෝ රක්ෂණ සමාගම් විසින් එවැනි ප්‍රදේශ වල ගොඩනැගිලි වලට රක්ෂණ ආවරණ නොසැපයීම අපේක්ෂා කළ යුත්තකි. රක්ෂණ ආවරණය රහිතව නිවාසයක් ඉදිකිරීමට නොහැකි වීම සහ අවශ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් නොසපුරන තත්වයන් යටතේ රක්ෂණ ආවරණයන් ලබා නොදීම යන ක්‍රියා දාමයක් හඳුන්වා දීම තුලින් උපද්‍රව අවදානම සහිත ස්ථානයන්හි ඉදිකිරීම් නියාමනය කෙරෙන විමධ්‍යගත ක්‍රියාපටිපාටියක් නිර්මාණය කරනු ඇත.

එය පරමාදර්ශී තත්වය වන අතර අප ජීවත්වන්නේ පරමාදර්ශී ලෝකයක නොවේ. දේපළ සහ වෙනත් රක්ෂණයන් ලබා ගැනීම අතින් ශ්‍රී ලංකාව සිටිනුයේ ඉන්දියාවට පවා පහළිනි. මෙය හේතුව මට මෙතෙක් පූර්ණ වශයෙන් වටහා ගැනීමට හැකිවී නැති නමුත්, රක්ෂණ ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ රජයේ ඒකාධිකාරිය තුල පැවතීම නිසා සිදුවූවා වන්නට ඉඩක් තිබේ. රක්ෂණ කර්මාන්තයේ ඒකාධිකාරය බිඳ දමන්නට අප දැන් කටයුතු කර ඇති හෙයින් සහ ක්ෂේත්‍රයේ වෙළඳකරණ කටයුතු බොහෝසෙයින් ඉහළ නංවා ඇති හෙයින් ඉදිරියේ දී මෙම තත්වය යහපත් අතට වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

රක්ෂණය පදනම් කරගත් විසඳුමක්, අපේ ප්‍රශ්නයට ක්ෂණික විසඳුමක් සපයනු නැති වුවත්, විසඳුමක් කරා යන ගමන අපට පහසු කරවන මාර්ගයක් පෙන්වා දීමේ හැකියාව තිබේ.

නිදර්ශනයක්
නාය යාමේ අවදානම පවත්නේ යැයි හොඳහැටි දන්නා බිම් ප්‍රදේශයක පිහිටා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ද ඇතුළු වතු නිවාස රැසක උපකල්පිත චිත්‍රයක් භාවිතයට ගනිමින් විසඳුම මෙසේ පැහැදිළි කර දෙන්නට හැකියාව තිබේ.
පොදු ගොඩනැගිල්ලක් වන ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙනත් තැනක පිහිටුවිය යුතු ය.

වතු ලැයින් නිවාස වල අයිතිය පවතිනුයේ වතු සමාගම සතුව මිස ඒවායේ පදිංචිකරුවන් වෙත නොවේ. එහෙයින්, එම නිවාස රක්ෂණය කිරීම අනිවාර්ය කිරීමේ හැකියාවක් තිබේ. එම ස්ථානයේ පවතින උපද්‍රව අවදානම පිළිබඳව සියළුදෙනාම දැන සිටින බැවින් සහ බෑවුමේ අවදානම සඳහා පිළියම් යෙදීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන හෙයින් රක්ෂණය සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවීම හෝ රක්ෂණ සමාගම් එම නිවාස රක්ෂණය කිරීම ප්‍රතික්ෂේප කිරීම සිදු විය හැක.

මේ තත්වය යටතේ, ලැයින් නිවාස වල පදිංචිකරුවනට ඇති අවදානම අවම කිරීම සඳහා කටයුතු යෙදීමට වතු සමාගමට සැබෑ ආර්ථික දිරිගැන්වීමක් තිබේ. බෑවුම් අවදානමට පිළියම් යෙදීම පිළිබඳව රජය සමග සාකච්ඡා කිරීමේ හැකියාව සහ අවශ්‍ය නම් ඒ සඳහා අරමුදල් ලබා දීමේ හැකියාව සමාගම වෙත ඇත. අනෙක් අතින් රජයට ද දිරිගැන්වීමක් තිබේ. බෑවුම් අවදානමට පිළියම් යෙදීමට දායක නොවීම නිසා ඉදිරියේ දී ඇති විය හැකි භයානක ප්‍රතිපල වලට මුහුණ දීමට රජයට සිදුවනු ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ඉහළ රක්ෂණ වාරික ගෙවීමට හෝ බෑවුම් අවදානමට පිළියම් යෙදීමට වඩා වෙනත් තැනක නිවාස ඉදිකිරීම අඩු පිරිවැය සහිත වන්නේ නම් එසේ නව නිවාස ඉදිකිරීමට රජයට හැක. එහෙත්, එසේ නව නිවාස තනන ස්ථානය සම්බන්ධයෙන් ද රක්ෂණ අවශ්‍යතාව එසේම පැන නගිනු ඇති හෙයින් වැඩි ආරක්ෂිත ස්ථානයක නිවාස ඉදිකිරීමට සිදුවනු ඇත.

අණ කිරීම් හරහා යමක් සිදුකරවා ගැනීමේ අවශ්‍යතාවය සහ එසේ ලබා දෙන අණ ක්‍රියාවට නැංවීමේ දී අනිවාර්යයෙන්ම ඒ සමග මතුවන දූෂණයට හිතකර පරිසරය නිර්මාණය වීමෙන් තොරව ආර්ථික දිරිගැන්වීම් නිර්මාණය කිරීමට රක්ෂණය විසින් අවස්ථාව සලසයි. ක්‍රමානුකූලව පෞද්ගලික නිවාස දක්වා ද රක්ෂණ අවශ්‍යතාවය පුළුල් කිරීමේ හැකියාව තිබේ.

නමුත් මේ විසඳුම ද දෝෂ රහිත එකක් නොවේ. කිසියම් පළාතක පවතින සියළුම නිවාස වලට හානි සිදුවීමට එක සමාන අවස්ථාව ඇති ගංවතුර වැනි තත්වයන්ට අදාළව රක්ෂණ වෙළඳපල ක්‍රියාත්මක නොවන වගක් පෙනේ. ලැයින් නිවාස වලට වඩා ප්‍රමුඛතාවයක් සමෘද්ධිමත් නගර වලට ලැබෙන වර්තමාන ක්‍රමය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. පවතින එකම වෙනස වනු ඇත්තේ, බෑවුම් අවදානමට පිළියම් කිරීමේ සම්පූර්ණ බර රටේ බදු ගෙවන්නා මත පැටවීමෙන් තොරව එයින් කොටසකට දායකවීමට දිරිගැන්වීමක් නගරවල පදිංචිකරුවනට ද තිබීමයි. මෙම විසඳුම තවදුරටත් වැඩි දියුණු කිරීමට රක්ෂණ වෘත්තිකයිනට හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙමු.

උගත් දේ
මූලික වශයෙන් ආපදා අවදානම අවම කිරීමේ වගකීම භාර ගත යුතු වන්නේ රජයයි. සුනාමිය ඉදිරියේ රජය අසරණ වුවද එම භූමිකාව පවරාගත හැකි වෙනත් ආයතනයක් නැති බව අපි එකල කීවෙමු. ඉහත නිදර්ශනයන්ගෙන් එම නිගමනය තව දුරටත් ඔප්පු වේ. නමුත් එම සාකච්ඡාවෙන් පෙනී යන්නේ ආපදා අවදානම අවම කිරීමේ කාර්යය රජයට තනිවම කල නොහැකි බවයි. සර්වෝදය වැනි ප්‍රජා සංවිධානවලට ඉමහත් කාර්ය භාරයක් ඉටු කල හැක. කැලණි ගංවතුරෙන් එය ඔප්පු විය.

දෙවෙනි කරුණ පූර්ව අනතුරු ඇඟවීමට අමතරව අනතුර සන්නිවේදන කිරීම පිළිබඳවද අවධානය යොමු කල යුතු බවයි. මෙය හුදෙක් භාෂාව හෝ පද සැකසුම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඊට අමතරව තාක්ෂණික විසඳුම් අවශ්‍ය වේ. මෙම විසඳුම් නැතුවා නොවේ. නමුත් ඒවා අප රටේ තත්වයන්ට සකසා ගත යුතුය. ජනතා විශ්වාසය දිනා ගත හැකි අමතර පියවර නැතිව අනතුරේ මාවතෙන් ජනතාව ඉවත් කර ගත හැකි වන්නේ නැත.

තුන්වෙනි කරුණ පූර්ව අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් නොවන බවයි. එමගින් ජීවිත හානිය අඩු කර ගත හැකි වුවද ජීවිකාවලට වන හානිය එමගින් වලකා ගත හැකි වන්නේ නැත. කැළණි ගංවතුරෙන් වාර්තා වුනු මුඛ්‍ය දේපල හානිය 2004 සුනාමියෙන් වාර්තා වුනු හානියට වඩා විශාල වීමෙන් මෙය සනාථ වේ. රක්ෂණය වැනි ආර්ථික මෙවලම් භාවිත කරන්නේ නැතිව පූර්ණ විසඳුම් ලබා ගත හැකි වන්නේ නැත. මෙහිදී සර්වෝදයේ මුල්‍ය සේවා වලට නිසි ලෙස සකස් කල රක්ෂණ සේවා එකතු කිරීම ගැන අවධානය යොමු විය යුතුය.

Comments are closed.